Saturday, September 26, 2015

කොටදෙනියාවේ පුතුට හැම අම්ම කෙනෙක්ගෙන්ම,



ආදරණීය පුතේ,






උඔ ගිය මාසෙ වෙනකල් උඹේ අම්මගෙයි තාත්තගෙයි පුතා විතරයි.ඒත් මේ වෙනකොට උඹ මේ රටේ හැම අම්ම කෙනෙක්ගෙම තාත්ත කෙනෙක්ගෙම පුතෙක්.



උඹට එල්ල වුන චෝදනාව සරල නෑ වගේම අහිංසක උඹ ඒකෙන් වින්ද මානසික වේදනාව අපි කවුරුත් හෑල්ලුවට ගන්නෙ නෑ.



අනිත් අතට මිනිහෙක් මරල වීරයො වෙන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක ,අහිංසක කෙල්ලො 100කගෙ ගෞරවය නැති කරල රෙකෝඩ් එකක් තියල ඒ වෙනුවෙන් පාටි දාන මිනිස්සු ඉන්න රටක උඹ ඇත්තටම ඒ වගේ දෙයක් කලත් ඇත්තටම ඒක වැරැද්දක්ද කියලත් වෙලාවකට හිතෙනව.



ඒ අසරණ පුංචි එකී ගෙනාපු ආයුස ඉවරයි.ගෙදර මිනිස්සු කල්පනා කරල ජනේලෙ වහල තිබ්බනං හරි ජනේලෙට ග්‍රීල් දාල තිබ්බනං හරි අර මිනිහ කලින් හිරබාරයට ගත්ත වෙලාවෙ මානසික ප්‍රතිකාර ලබා දිල තිබ්බනං හරි මොහෙම දෙයක් නොවෙන්න තිබ්බ.



ඉතින් පුතේ උඔ ගෙවන්නෙ උඹේ සමනල් වයස.ඒ වයසෙදිම රටේ ලෝකෙ හැම එකාම එකතු වෙලා උඹේ අත්තටු කපල දැම්ම කියල උඹ හැමෝටම වෛර කලත් ඒතන අසාධාරණයක් නෑ තමයි.



උඹේ ලැප් එකේ වැල වීඩියෝ තිබුනළු.රහස් පොලීසිය අත්අඩංගුවට ගත්ත ලැපේ තිබුන දේවල් පහුවෙනිදම මීඩියා වල යනවනං ඒ පොලෝසියේ තියන “රහස්“ පදය අයිං කරල දාන්ඩ ඕන.

උඹ මීට අවුරුදු 10ට කලින් කුණු හබ්බයක් වත් නොදැන හිටි පුංචි එකෙක් වෙන්ඩ ඇති.මේ වෙනකොට වෙනස් වුන උඹේ හෝමෝන වැල වීඩියෝ බලන්න උඹ පොළඹවන්න ඇති.

ඉස්කොලෙ යන පුංචි උන් ඔව්ව බලන එක මං අනුමත කරනව නෙමෙයි.ඒත් සෙක්ස් කුණුහරුපයක් විදියට සලකන අපේ රටේ මිනිස්සුම තමයි ඒ වචනෙ ඉන්ටනෙට්ටුවෙන් වැඩි පුර හොයල තියෙන්නෙ.

ඇත්ත.............. උඔල අන්තර් ජංජාලෙන් හරි හොයා නොගත්තනං කොහොමද මේ දේවල් දැන ගන්නේ.කොයි අම්මද තාත්තද උඔලත් එක්ක උඔලගෙ සරීරයේ සිතිවිලි වල වෙන වෙනස් කම් ගැන කතා කරන්නෙ.උඔල මොනවද පවුල් ජීවිතය ගැන දන්නෙ.විෂය නිර්දේශයේ යන්තං උඩින් පල්ලෙන් තිබ්බත් කොයි ගුරුවරයද  මේ විෂය ගැන ගැඹුරින් උඹල එක්ක කතා කලේ.පාඩම කරන වෙලාවෙදි උඔලට නැගුන අනේකවිද ප්‍රශ්න ගුරුවරයගෙන් අහන්න උඹලට ගටක් නැති වෙච්ච එක අරුමයක් නෙමෙයි.සමාජ සමිමත උඔලගෙ කටවල් හිත් ගැට හහල.


අනික උඔල කවදාවත් අම්මගෙ තාත්තගෙ ආදරේ විනිවිද දකින්න උත්සහ කරල තියනවද?සැමියා හා බිරිඳ ආදරය කල යුත්තෙ නිදන කාමරේ දොරවල් වහගෙන යතුරුත් දාල තියෙද්දි විතරයි කියල හිතන මිනිස්සු ඉන්න රටක උඔලට යතුරු හිලෙන් එබිල බලන්ඩ හිතෙන එකම අරුමයක් නෙමෙයි.

හෝමෝන උඔලව ඇහැරවද්දි ඒව පාලනය කරගන්න සමාජයෙන් උඹලට මග පෙන්වීමක් තිබුනද?මෙන්න මේකයි හරි පාර ....ජීවිතේ පිලිවෙලක් කරගෙන කසාදයක් බඳිනකල් මේ විදියට කරල උඹලගෙ හැඟීම් පාලනය කර ගනිල්ල කියල කවුද උඹලට කියල දුන්නෙ.



එහෙවු  එකේ හෝමෝන උඹල පොළඹවද්දී වැලක් බලල පුංචි සතුටක් විඳින එක ජාත්‍යන්තර අපරාධයක් වගේ සලකන්න පුළුවන්ද?ඒ වගේ දේකින් විතරක් මිනිහෙක් දූෂකයෙක් මිණී මරුවෙක් වෙනවනං අපේ රටේ පිරිමින්ගෙන් 90% විතරක් නෙමෙයි ගෑනු අයත් 25% වත් හිර ගෙවල් වල දම්මන්නයි වෙන්නෙ.

උඹේ වැරදි කියන්ඩ මීඩියා නිවුස් කියන පැය බාගෙන් පැය කාලක්ම  ගත්ත.වෙන එකක් තියා උඔ ලස්සනට වවාගෙන උන්න නියපොතු ටිකත් ලං කරලම පෙන්නුවේ උඹ අර කෙල්ල දූෂණය කලේ මැරුවේ ඒ නියපොතු වල වැරුද්දෙන් කියනව වගේ.

දැන් හැම දෙයක්ම එලි වෙලා .උඹ නිදොස් වෙලා..උඹට දොස් කියපු හැමෝගෙම හිත් දැන් අනුකම්පාවෙන් බර වෙලා.ඒත් පළුදු උන උඹේ ආත්මාභිමානෙ තවත් උඹට රිද්දනව කියල මට දැනෙනව.උඹ දිහා උඹගෙ ගෙදර උදවිය දිහා බලන සැක සහිත බැල්ම දැන් ඉවරයි.ඒත් උඹ සතුටු වෙයන්.මුළු ලෝකෙම උඔ අපරාධකාරයෙක් කියල කියද්දි , උඔ දිහා සැකෙන් බලද්දි මේ ලෝකෙ එකම එක්කෙනෙක් උඔ ගැන තිබුන විස්සාසෙ බිඳ ගත්තෙ නෑ..උඔ ටී වී එකේ බලපං අර හැබෑ අපරාධකාරයාගෙ අම්මගෙ කටහඩේ තිබුන වේදනාව ,කලකිරීම ,පරාජිත බව.අපි කොයිම වෙලාවකවත් දැක්කෙ නෑ උඹේ අම්මගෙ කටහඩේ තියෙනව.කඳුළු වලින් අවහිර වුනත් අචල කටහඩකින් අම්ම හැම වෙලේම කිවුවෙ “මගෙ දරුව වැරදිකාරයෙක් නෙමෙයි “ කියලයි.

උඹේ හිත මුළු ලොකෙම ගැන වෛරයෙන් පිරිල තිබුනත් උඹ ඒ අම්ම ගැන හිතපන්.උඹට අසාධාරන වුන සමාජයට රිද්දන්න ගියොත් වැඩිපුරම රිදෙන්නේ උඔව විස්වාස කරපු ඒ හිතට කියල හොඳින්ම මතක තියා ගනින්.

උඹ නිවැරදියි කියල දැන දැනත් උඹේ සමාජය-පාසල මිතුරෝ උඹෙන් තවමත් ඈත් වෙලා ද ඉන්නෙ.එහෙනං උඔ දැන ගනින් ඒ මිත්‍ර ප්‍රතිරූපකයෝ විතරක්ම බව.සමහර විට උඹ ලාබාල පෙම්වතෙක් වෙලා ඉන්ඩත් ඇති.ඇයත් මේ වෙලාවෙ උඹ තනිකලාද?එහෙනං උඹ තවත් සතුටු වෙයං.විවාහ ජීවිතයේ අනේක විධ ගැටළු මැද උඹව තනිකරල දාන කෙනෙක් උඹේ බිරිඳ වීමෙන් වැලකුව මේ අවස්ථාව උඹේ වාසනාවක් කියල හිතපං.මේ වගේ දෙයක් වෙලා හරි උන්ගෙන් දුරින් දුරු වෙන්න ලැබිච්ච එක ගැන උඹ සතුටු වෙයං. .උඹේ පෙම්වතිය  තාමත් උඔ එක්ක නං.ජීවිතේ කිසිම දවසක ඇය මඟ හරව ගන්න එපා.උඹේ ජීවිතයට උරුම වටිනාම සමිපත ඇය වේවි


උඔට මේ දුන්න වඳ වේදනාවලට උඔ සමාජයෙන් පලි ගනින්.ඔවු උඹේ හිතට  දුන්න වේදනාවට  හිතේ තියන තරහ දුරින් දුරු වෙනකල්ම පලි ගනින්.

ඒත් උඹ හිතනවනං පලි ගන්ඩ තියන හොඳම විදිය උඹ ගැන කලින් මිනිස්සු කිව්ව දේවල් ඇත්ත කරන එක කියල උඹ වැරදියි.උඹ ස්ත්‍රි දූෂකයෙක් මිණී මරුවෙක් අපරාධ කාරයෙක් කියල කියපු මේ සමාජයෙන් පලි ගන්න තියන හොඳම විධිය තමයි උඹ ඒ එකෙක්වත් නොවෙන එක.

එතකොට මේ සිද්ධිය ඒ මේ අත හරව හරව පණ්ඩිත කතා කියපු උන් නිකංම පල් වෙලා යාවි.

උඔ මේ පීඩනය උඹේ ශක්තිය කර ගනින්.ඒ ශක්තියෙන් පන්නරය ලබා ගනින්.අළු ගසාදාල නැගිටපං.ඉස්කෝලෙං බැරිනං ටියුෂන් එකෙන් බැරිනං තනියෙන් හරි ඉගෙන ගනිං.උඔට පනින්න තියන ආසන්නම කඩ ඉම තමයි උසස්පෙල විභාගය.මේ ශක්තිය උඔට කැම්පස් එකකටම බල්ටියක් ගහන්න ප්‍රමාණවත්.එදාට උඔ ලෝකෙට ම වීරයෙක් වේවි.මේ තරං කරදර මැද උඹ ලබන දිනුම ගැන තවත් බරීස් වලවොයි කෙනෙක් තවත් සැබෑ මිනිසෙකුගෙ කතාවක් ලියාවි.






ආදරණිය පුතේ,


උඹට පලිගන්න තියන හොඳම විදිය තමයි සැබෑ මිනිසෙක් වෙන එක.

ඊට අවශ්‍ය පන්නරය පහුගිය සති දෙකේ  සමාජයෙන් උඹට නිර්ලෝභීව ලැබුන.


වඩාත් ලස්සන හෙට දවසකදි අපි ආයෙත් හම්බෙලා ගෙවිල ගිය අද දවස ගැන හාස්‍යෙයන් කතා කරමු.


උඹට බුදු සරණයි!!!!!!

Thursday, September 24, 2015

අධ්‍යයනය අපහසු ව්‍යාපාර හා මගේ ගෝලයා


මම උසස් පෙල පංති වලට උගන්වන ටීචර් උත්තමාවියක් බව දන්නෝ දනිති.මගේ අළුත් ජොබ, ජොබක්ම නොව ඊට වඩා රසවත් යමක් බව මේ ගතවුන මාස හය මට පැහැදිලි කලේය..
මම ඔහුට ගෝලයා  යයි අමතමි.මට පාසල කිරි හොද්දක් සේ දැනේ නං එහි ලුණු පුපුර ඔහු විය.මුළු වාණිජ අංශයම ගෝලයන් තිදෙනෙකුට සීමා වීම ගුරුවරුන් වූ අපත් ඔවුනුත් අතර ඇති දුරස් බව නැත්තටම නැති කර දැමීමට හේතු වන්නට ඇත.සරදම් , ඕපාදුප විෂය කරුණු හා සමෝසමේ ගලා ගියේය.


ඒ අතරින් ඔහු කැපීපෙනුනේ ඔහුගේම හැසිරීම් රටාවන් විය හැක.සීමා මායිම් තඹ සතේකට මායිම් නොකල ගෝලයා තහනම් දේ වඩා රසවත් බව විස්වාස කලෙන් අප අංශයේ අනෙත් සිසුන් දෙදෙනාම එක්ව දෙනවාට වඩා දස ගුණයක කරදර අප වෙත ගෙනාවේය.එසේම ඔවුන් මෙන් සිය ගුණයක් අප හිනැස්සුවේය.

වරකදී පාසල් නීතියට පිටුපා නෑඹිලි කට් එකක් හා එළු රැවුලක් සමඟ පාසල් ආ අතර තවත් වරක් කසි කබල් ෆෝන් කටුවක් බෑගයේ දාගෙන විත් අපව තිගැස්සුවේය.ඊටත් වඩා බරපතල චෝදනා පිලිබඳ ආරංචි වරින් වර අප වෙත හමා ආවෙන් හැම පාඩමකට පෙරම අපට බණ පදයක් දෙකක් දෙසීමට වීම දවසේ අනිවාර්යය අංගයක් විය.

මේ සියල්ලම මැද අසාමාන්‍ය දක්ෂතා කිහිපයක් හා දීප්තිමත් ආකර්ෂණීය පෞර්ෂයක් ඔහු සතු වූයෙන් ඔහු පිළිබඳ අප්‍රසන්න හැඟුම් වැඩි වෙලාවක් අප සිත රඳවා ගැනීම අසීරු විය.සරලවම අපි ඔහුගේ වහා වැටහෙන නුවණ ,ධාරණ ශක්තිය අගේ කරන අතරම ඔහුගේ පිස්සු වැඩ වලට ආදරය කලෙමු.  ඔහු අපේම දරුවෙක් යැයි සිතන තරමටම අපේ සිතෙන් ඉඩක් ඔහුට වෙන්වූයේ ඔහුගේ මේ පරස්පර විරෝධී පෞර්ෂ ලක්ෂණ නිසා විය හැක.කෙසේ වෙතත් ඔහු මගේ ගුරු ජීවිතයේ මතකයන් තුලට පායා ආවේ වර්ණවත් දේදුන්නක් පරිද්දෙනි.ඔහු පාසල් නොපැමිණි දිනවල පවා ඔහුගේ මතකයන් පංතිය හිනැස්සීමට සමත් විය.

“මිස් ගෝලයා හිටියනං මේකට මෙහෙම කියයි නේද?“

 අනිත් ගෝලයා අසන විට මට පවා  ඉබේටම සිනා ගියේය.අප පාසලේ උසස්පෙල පන්ති පටන්ගත්තේ මෙම වසරේ මැයි මාසයේදීය.ඒ වෙන විට 13 පංතියේ දරුවෝ ටියුෂන් සරණං ගඡ්ඡාමි කියමින් සදහටම පාසල අමතක කර දමා ඇති නිසා ඒ කාලසටහනට අළුත් පංති වලට ඉගැන්වීමට අප කතිකාකර ගත්තේ කාලය රන් හා සමාන යැයි සිතමිනි.ඉතින් “ව්‍යාපාර අධ්‍යයනය“ යනු කුමක්දැයි හීනයෙන් වත් දැක නොතිබි පැටවු  දෙදෙනෙකුට  ඒ විෂය ඉගැන්වීමේ භයානක ඉරණම මගේ ඔළුගෙඩිය උඩට කඩා වැටිනි.

මගේ පළමු ගෝලයා මට පත්වීම ලැබෙනවිටත් පාඩම් කීපයක්ම පසුකරමින් විෂය තුල කිමිදෙමින් සිටි හෙයින් මෙය මගේද කුළුදුල් අත්දැකීම බව මම දැන උන්නෙමි.
මා තුල වූයේ තිගැස්මකි.ආසන්න පාසල් වල උසස්පෙල ගුරුවරුන් සිසුන් හමුවේ අසාර්ථක වූ විවිධ අවස්ථා මගේ ඔළුගෙඩිය ඇතුලේ රකුසන් සේ කැරකුනි.ඔවුන් දඩබ්බර නං අපට පාලනය කල ගත නොහැකි නං කිසිඳු ලෙසකින් පුහුණුවක් නැති අසරණ මා කුමක් කරන්නද?අනෙක් අතට මගේ මුල්ම දින කිහිපය මත ඔවුන් විෂය එපාකර වීම හෝ  විෂයට ඇළුම් කිරීම තීරණය කරන බැවින් ඒ පිලිබඳවද මං තැවුනෙමි.

සියළු ස්ත්‍රි ධෛරයය එක්තැන් කරගෙන සුවාමි පුරුසයාගෙන් පුරුස ධෛරයය ටිකකුත් ණයට ගෙන මං නමෝවිත්තියෙන් පංතියට කඩා වැදුනේ දකුණ කකුල පෙරට තබා මට බුදු සරණයි කියාගැනීමෙන් අනතුරුවය.

කිසිම හැලහොල්මනක් නැතිව බිරන්තට්ටු වූ කෙල්ලෙකු හා කොල්ලෙකු තම ඩෙස්කු පිටුපස සිට මා දෙස එබී බැලූහ.
මම සියළු ධෛරයය එක් රැස් කරගෙන ඔවුන් ඉදිරියේ සිටගතිමි.

“ආයු බෝවන්“

“ආයුබෝවන් මිස්“

මුලික හඳුනා ගැනීම් වලින් පසු මම ඔවුන්ට වාණිජ විෂය ධාරාවේ වැදගත්කම හා ඒ  ඔස්සේ  ඔවුන්ට විවර වන රැකියා වෙලඳ පල අවස්ථා විස්තර කලෙමි.

වරලත් ගණකාධිකරන,ඒඒටී, ආදී වෘත්තීය පාඨමාලා විස්තර කලෙමි.අවසානයේ ඌන පූර්ණයක් ද එක් කලෙමි.

“වාණිජ විෂයන් කරන අයට ඉදිරියට යන්ට තියන හොඳ පාරක් තමයි චාටඩ් විභාගේ..කැම්පස් තේරුනොත් උපාධිය කරන ගමන්ම ඒ විභාගෙත් කර ගන්න පුළුවන් ....විෂය නිර්දේශ ටිකක් එක ලඟින් යන නිසා..ගොඩ දෙනෙක් කරන්නෙත් එහෙම..මගෙත් යාළුවෙක් ඉන්නවා කටාර් වල.උපාධියත් එක්කම චාටඩ් එxසෑම් කර ගත්ත එක්කෙනෙක්...එයාගෙ මාසෙක පඩිය ලක්ෂ 4යි..(ඇත්තටම මට එබඳු මිතුරෙක් සිටියි.ඔහුගේ වැටුප නං ගමේ ගොඩේ ඕපාදූප කතාවකින් අහුලා ගත් එකකි)


“ඇත්තමට මිස්...එච්චර ලොකු පඩියක්“ කෙල්ලගේ කටත් බාගෙට ඇරිලාය..

“නැතුව නැතුව...ඒ විතරක් නෙමෙයි එයාගෙ නෝනත් උපාධියයි චාටඩුයි දෙකම කරගෙන ඒ රටටම ගිහින්..එයාගෙ පඩියත් ඒ වගේමයි..

“එතකොට මාසෙකට ලක්ෂ 8ක්..බුදු අම්මෝ මිස්“...

“ඒක තමයි මාත් ඔයාලට කිවුවේ....ඉස්සරහට යන්න තියන එකම පාර කැම්පස් එක නෙමෙයි..ඒත් ඒක අනිත් පාර වල් එක්ක බලනකොට අපි වගේ දුෂ්කර පලාත් වල අයට ලේසි ෂෝට් කට් එකක් ..හිතල බලන්න ඔයාලට  ලක්ස 8කින් කරන්න පුළුවන් දේවල්...සතුට සල්ලි වලට ගන්න බැරි උනත් ගොඩක් අයට ඒ සල්ලි වලින් සතුට ගේනත් දෙන්න ඔයාලට පුළුවන්“

“මට නං එක ලක්ෂ 4ක් තිබුනොත් ඇති මිස්“ කොල්ල ගත් කටටම කිවුවා...ඇති යාාාාාාාාාාංතං තව පොඩ්ඩෙන් මං මේ දරුවා ගොළුවෙක් කියල හිතනව

“ආ  ඒ කියන්නේ  ඔයාටත් තේරුනා නේද චාටඩ් එකවුන්ටන් කෙනෙක් වෙන එකේ වැදගත් කම“මම ඇහුවේ දරුවෝ මං කියූ දේ අවබෝධ කර ගරනීම නිසා ඇති වුන අහංකාරය ටිකක් හංගා ගන්නා ගමන්ය.

“න්න් නැහ් මිස්“

“නැහැ???????????????“

“එහෙනං...මං හිතුවේ ඔයා ඒ වගේ වෘත්තීය විභාගයක් කරන එකේ වැදගත්කම තේරුම් ගත්තයි කියල“

“ඔ ඔ ඔවු මිස්“

“මට ඔයා අදහස් කරන දේ තේරෙන්නෑ පුතේ“...ඇත්තටම හොල්මං වී ගිය මම කුතුහලයෙන් පිරීගිය බැවින් ඇසීමි.

“ ඔය විභාග වලට  ගොඩක් මහන්සි වෙලා පාඩම් කරන්නත් ඔනනේ මිස්“

 “අනිවාර්යයෙන්ම“

ඉතින් මට ලක්ෂ 4 ක් ඇතිනේ මිස්“..

 “ඔවු

“ඒ ගාන ඇති එකේ...පාඩම් කරනවට වඩා ලේසිනේ මිස් අර වගේ නෝන කෙනෙක් ගත්තාම“

මම ජීවිතේ පළමු වරට මිනිත්තු කීපයකට ගොළුවී ගියෙමි.
ආරම්භය එසේ විය.
ඔවු ඇත්තටම ඒ ආරම්භයම පමණි..


Wednesday, September 9, 2015

තරුවකට ලියමි

එපා සඳ හිනැහෙන්න
මනමාල මගෙ හිතට
එපා තරු ඉඟි මරන
ඔය දෙනෙත් ඇතිය මට




එපා මුතු ගෙල ලන්න
ඔය කඳුළු මට දෙන්න
මිණි ඔටුනු පට සේල
හැර පියා පැමිනෙන්න








දඟකාර සුළඟ විත්
මගෙ සුවඳ ගෙන යන්න
අහස් මං තලාවෙන්
බසින තුරු ලඟ ඉන්න


Sunday, September 6, 2015

මැණිකේගේ මල් සමය


මැණිකෙ ගේ බාල විය ටිකෙන් ටික මැණිකෙ අතඇරලා පියමං වෙන්ඩ ගත්තා.ඒත් හැමෝගෙම ආදරය රැකවරණය ඇතිව ඇහිපිල්ලමක් යට හැදුණු මැණිකෙට කිසි දෙයක බරපතලක් දැනෙන්න පවුලෙ කවුරුවත් ඉඩ තිබ්බෙ නෑ.අඩුගානෙ කෙල්ල ගෙට වෙනකල් උදේට ඉස්කෝල ඇඳුම් පවා ඇන්දුවේ අයියලගෙන් කවුරු හරි.


තනියම ඇඳගත් දවසට මැණිකෙ ඇඳුම් වලින් එකක් හරි අමතක කරල දාල තමයි ඉස්කෝලෙ යන්නෙ.ලොක්කයියයි දෙවෙනියයියයි එතකොට පාසල් විය හමාර කරලා.පස් වෙනි අයිය එක්ක තමයි මේ කාලෙ වෙනකොට මැණීකෙයි මල්ලියි ඉස්කෝලෙ ගියේ....

ටිකක් දුරට ගියාම අයියා අහනවා

“මැණිකෙ ජංගිය ඇන්දද“?

ඔන්න එතකොට තමයි මැණිකෙට මතක් වෙන්නේ තමන්ට ඒක ඇඳ ගන්න අමතක වුනා කියලා...

“ඔවු අයියේ  කෙල්ල ඇඹරි ඇඹරි කියනවා“

“පෙන්නපිය උස්සලා“

කෙල්ල ඇඹරෙනවා

අන්තිමට අයියම ගවුම උස්සලා බලනවා.

“පල ගෙදර ගිහින් ඇඳගෙන වර“ අයිය කියන්නේ හුරතලේට තට්ටමට පාරක් ගහන ගමන්.අයිය අතට පොත් ටික දීල මැණිකෙ ගෙදර දුවනවා.අයියයි මල්ලියි ගලක් උඩට  වෙලා බලං ඉන්නවා...මැණිකෙ වැඩිවිය පැමිණීලා කාලයක් යනකල්ම සතියකට අඩුගානෙ දෙවතාවක් වත් ඔය සිද්ධිය වුනාළු.

මේ කාලෙ වෙනකොට මැණිකෙගෙ දෙවැනි අයිය ගුරුවරයෙක්..ඈත බටුවිට ඉස්කොලෙ උගන්නන අයිය ගෙදර ආවෙ එහෙමත් දවසක.ඒ වුනාට මැණිකෙ වෙනුවෙන් හිතේ ඉපදුනු ආදරය තාමත් එහෙමමයි.ඒ හින්දයි ඉස්කොලෙ ළඟ තිබුන කිරි හල කරපු උන්දැට කියල තිබුනේ නංගි ඉල්ලන ඕනම කෑමක් දෙන්න කියලා..අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත මැණිකෙ දවසට එක ගානෙ කල් කිරි බෝතල් බීවළු.බිල කොච්චර වුනත් අයිය මාසෙ අන්තිමට ගෙව්වළු

රෝසමලක් වගේ පිපිගෙන ආව තමන්ගෙ නගන්ඩිය ගැන  දෙවෙනියයිය බලං උන්නේ හරි ආඩම්බරෙන්.මේ කාලෙ වෙනකොට පවුලෙ උන්න එකම උපාධිකාරයා හැටියට පවුලෙ ඇත්තන්ට නියෝග දීමේ බලයක් උන්දෑම පවරගෙන තිබුන.ඉතින් පස්වෙනි හා හය වෙනි අයියලට කියල තිබුනේ නංගිව තනියම එවන්නැතුව කීය වෙනකල් හරි ඉඳල එයාවත් එක්කගෙනම ගෙදර එන්න කියලා.ඒ දෙන්නත් ඒක පිලිපැද්දෙ අයියට තිබුන බයට විතරක් නෙවි.මැණිකෙට තිබුන ලෙංගතු කම හින්දමයි.

ඒත් ක්‍රීඩා උත්සව දවසක මේ වැඩේ වැරදුනා.පස් වෙනියා හිතා ගත්ත හය වෙනියයිය  එක්ක ගියා කියල.හය වෙනියා හිතාගෙන පස්වෙනියයිය එක්ක ගියා කියල.අන්තිමට දෙන්නම හිත හදා ගන්නව යාළුවො එක්ක එයි කියල.ඒත් අයියල තමං එනකල් ඉන්න බව දන්න මැණිකෙ යාළුවන්ට සමුදීල අයියල හොයං යනවා.ඒත් අයියල ගිහින්.මැණිකෙට දෙයියො සිහි වෙනව.අන්තිමට මැණිකෙ තාමත් රුවන්නැල්ල ටවුමෙ.හතර වටින් අඳුර එනව.මැණිකෙ අඩ අඩා ඉන්නව.


ඔන්න කොහෙද යන ගමන් දෙවෙනියයිය එතනට එනවා.කතාව අහපු අයියට ඌරු ජුවල්.තමංගෙ ගමන පැත්තකට දාපු අයිය ගෙම්බ කාර් එකක් හයර් එකට ගන්නව.මැණිකෙව දැකල සැනසුනු අයියල දෙන්නගෙ පපු කැවුත්ත ගිනි ගන්ඩ ගත්තෙ ඒත් එක්ක ආපු අයියව දැකල.


තමන්ට බඩ පුරා කන්ඩ වෙන බව වටහගත්ත පස්වෙනියයිය ජනේලෙන් පැනල කැලේ පැත්තට අන්තරස්දාන උනා.ඒත් මිදුල අතු ගාමිං උන්න හයවෙනියයිය එච්චර වාසනාවන්ත උනේ නෑ.උන්දැගෙන්ම ඉලපත උදුරගෙන ඒක කැඩෙනකල්ම තඩිබෑවා.

 කලාතුරකින් ගෙදර එන තමංගෙ පුතාට අනිත්අයට වඩා විසේසයක් කරන්ඩ අම්ම හැමදාම පුරුදු වෙලා හිටිය.කඩේට දුවල ගිහින් ගෙනාපු බිත්තරේ බත් අස්ස ගහල හංගල දෙවෙනි පුතාට දුන්නේ අට දෙනෙකුට බිත්තර කවන්ඩ වත්කමක් අම්මට නැති හින්දමයි.පිරිමිංට බඩ කට පිරෙන්න යහමිං කන්ඩ දිය යුතු බවත් උන් ඉතුරු කරපු ඉඳුල් වලින් ගෑණුන් සැනසිය යුතු බවත් තමයි මේ අම්ම දැනං උන්නෙ.ඒ උන්දැගෙ අම්ම උන්දැට උගන්නපු විදිය.

ඒත්  උගත් අයිය ඊට වඩා දැනං උන්න.දරු ප්‍රසූතිය වැනි අවස්ථා වලට මූන දෙන්ඩ ගෑනු උදවියට හොඳ පෝෂණයක් උවමනායි  කියල අයිය විස්වාස කලා.ඒ හන්දම ඒ බිත්තරය අම්මටත් හොරෙන් මැණිකෙගෙ බත් පිඟාන  අස්සෙ ඔබන්න දෙපාරක් හිතුවෙ නෑ.

අයිය ලා මැණිකෙව  කොච්චර රැක්කද කියනවකං ලොකු මහත් වෙනකල්ම කුණු හබ්බයක් ඇහෙන්ඩවත් ඉඩ දුන්නෙ නෑ.ඒ හන්දමයි ඉස්කොලෙ පංතියෙ ඉන්න නසරාණියෙක් දවසක් කිවුව මෙතෙක් නොඇසූ විරූ වචනයක් මැණිකෙට ලොකු ප්‍රශ්නයක් වුනේ .පිරිමි ළමයි හක හක ගාල හිනා වෙද්දි ගෑනූ ලමයි ලේන්සු වලින් රතු වුන මූනු වහගෙන හිනාවෙද්දි මැණිකෙ ඇස් ලොකු කරල බැළුවාම විතරයි.ඒ තනි වචනයේ ඔච්චර හිනා වෙන්ඩ දෙයක් තියේද කියල හිතපු මැණිකෙ ගෙදරට ගොඩ වුන ගමන්ම දෙවෙනියයිය ගාවට දුවගෙන ගියේ තමන්ට නොතේරුන විහිළුව දැන ගන්ඩ.


“අයියෙ හු***  කියන්නෙ මොකක්ද?

අයියල හය දෙනාම එකපාරටම මැණිකෙ දිහා බැළුවෙ ඇස් ඩොඟිත්තාගෙන.අතු ගගා හිටපු කොස්සත් සුදු අයිය අතින් නොදැනීම බිම වැටෙනවා මැණිකෙ දැක්කා.
.
මොකක්??????????

හය දෙනාම ඇහුවෙ එක හඩින්.

හු***

ආයෙත් කියපිය බලන්ට...දෙවෙනි අයිය කිවුවෙ මහ හඩින්.

ඇයි වදේ මෙච්චර හයියෙන් කියලවත් කං ඇහෙන්නැද්ද?මැණිකෙ ආයෙමත් ඒ වචනය කිවුවේ පුළුවං උපරිම සද්දෙන්.

හු**.*

ඔළුව වටේ තාරකා එලි දස දහසක් පත්තු වෙලා නිවී යනව වගේ දකිනකොට මැණිකෙ හිටියෙ බිම වැටිල.අයියල දෙන්නෙක් දෙවෙනි අයියව අල්ලං හිටිය.

ඇත්තටම ඊයෙ ගෙදරදි මොකද වුනේ කියල දැනගත්ත මැණිකෙගෙ යාළුවෙක් විහිළුව අමු සිංගලෙන්ම විස්තර කලාම මූණ හොඳටම රතු කර ගත්තත් අයිය ගහපු කනේ පාර සාධාරණයි කියල මැණිකෙට නිකමට හිතුන.


ඔය කාලෙ වෙනකොට මැණිකෙ නෙළුමක් වගේ පිපෙමිං උන්න.අහල පහල ඉලන්දාරින්ගෙ ඇස් ගිණිකන වැටුනත් නාග රාජයො හත්දෙනෙක් නගින මැණිකකට ලං වෙන්ඩ උන් බය උනා.ඒත් අයියලගෙ යාළුවො හුඟ දෙනෙක් අයියල හම්බෙන මුවාවෙන් නංගි බලන්ඩ ආව  එක ගෙදර කාටවත් රහසක් වුනේ නෑ

මේ කාලෙ එස් එස් සී ලියපු මැණිකෙ ගෙදරට වෙලා හිටිය.අම්ම කිරි කපන කුලී රබර කට්ටියට තේ ගෙනියන්ඩ කලින් ගේ දොර වැඩ අහවර කරන්ඩ මැණිකෙ පුරුදු වෙලා හිටිය.මේ කාලෙ වෙනකොට අයියලා හැමෝම වගේ කූඩු තනන්නයි රස්සා වලටයි ගෙදරින් පිටමං වෙලයි හිටියෙ.

ගේ දොර වැඩ අහවර කරල කේතලේ ලිපේ තියනකොටමයි “සූර තිස්ස“ ගෙදරට ගොඩ වුනේ.වෙනදත් අයියල හම්බෙන්න ගෙදරට එන සූරතිස්සගෙ ගමන ගැන මැණිකෙට අමුත්තක් දැනුනෙ නෑ.හිනාවකින්ම පිලි අරගෙන ආසනයකුත් පැනෙව්වෙ ඒකයි.

“අයියලා කං කවුරුත් නෑයියේ“

කෝ නැන්දා...සූර තිස්ස ඇහුවේ පරිස්සමට ගේ ඇතුල බලන ගමන්.

අම්ම කිරි කපන්න ගියානෙ අයියෙ..ගෙදර මං විතරයි

ඒක හොඳයි නංගී....සූර තිස්ස එක පාරටම ලොකු කල්පනාවකට වැටුනා.අම්මට තේ අරන් යන්නත් ඕන.මේ යකා යන පාටකුත් නෑ.

එහෙනං අයියෙ මං අම්මට තේ දෙන්න යන්නද

නංගී...සූරතිස්සගේ කට හඩ හොඳටම වෙනස් වෙලා.
මට ඔයාට කියන්ඩ දෙයක් තියනවා..

ඒ මොකක්ද?මේ යකා කියන මගුලක් කියලා ඉක්මනට යනවනං හොඳයි .මැණිකෙ ඒ අස්සෙ හිතුවා..

“නංගී  මගෙ හිතේ ඔයා ගැන “පොඩි අදහසක්“ තියනවා“...වචන පැටලි පැටලි කිවුව ඒ වාක්කියේ තේරුම ඔළුවට වැටෙන්ට ටික වෙලාවක් ගියා

තමංගෙ ජීවිතේ පලවෙනි වතාවට කෙනෙක් තමන්ගේ ජීවිතේ බෙදා ගන්න යෝජනා කරනවා.ඒත් සූර තිස්ස අයියලගෙ යාළුවෙක්ම විතරයි.මැණිකෙට දැනුනෙ හිස් හැඟිමක් එක්ක බියක්.වහා වහා තේ ටිකත් වක්කරගෙන පෑලදොරින් රබර්කෑල්ල පැත්තට පලා යන්ඩ මැණිකෙට එයහැටි වෙලාවක් ගියේ නෑ.


නංගී...නවතින්න...සූර තිස්සගෙ කටහඩ ඈතින් ඇහුනත් මැනිකෙ නෙමෙයි ආපස්සට හැරිලා බැළුවෙ.

මැණිකෙ හවස උයන්ඩ හාල් තෝරන ගමන් මේ කතාව අම්මට කිවුවෙ හිනාවෙවී...ඒත් අම්මගෙ ප්‍රතිචාරය නම් බලාපොරොත්තු වුනාට වඩා හාත්පසින්ම වෙනස් එකක්

මුලින්ම චීත්ත රෙද්ද ලෙහල තද කරල ඇඳ ගත්ත අම්ම ඊට  පස්සෙ කොන්ඩෙ තද කරල බැඳගත්ත.පොල් බිඳින්න ගෙනත් තිබුන මන්න පිහිය අතට ගත්ත.සූර තිස්සට කොටල අම්ම හිරේ යයි කියල බය වෙලා මැණිකෙ අම්මගෙ චීත්තෙ එල්ලුනා.

උඹ ඔහෙන් හිටපන්...

අම්ම පිටත් වුනා.බයටම මැණිකෙයි මල්ලියි දෙන්නම පඳුරු වලට වහන් වෙවී හොරෙන් අම්ම පස්සෙන් ගියා.
අම්ම යනකොට සූරතිස්ස මිදුලෙ පහන් පැලේ මල් පූජා කරනව.

මන්න පිහියකුත් අරගෙන නාලාගිරිය වගේ පිඔගෙන එන දුලිය නැන්ද දැක්ක ගමන් වැඩේ වැරදිලා ඇති බව සූර තිස්සට වැටහුන.මෙතනින් පැනල ගියොත් අවනඩුව යන්නෙ අම්ම ගාවට.එහෙම උනොත් ගෙදරින් බත්කාල හමාරයි.තමන්ට මන්න පාරක් දෙන්න තරම් නපුරු හිතක් නැන්දට නැති විත්තිය කොල්ල දන්නව.එකත් එකටම ඒක ගේන්න ඇත්තෙ තමං බය කරන්න වෙන්න ඇති..

තමන් දිහා ඇස් ලොඩි කරං බලා හිටපු කොල්ල මෙන්න බොලේ එකපාරම පංසිල් ගන්ට පටන් ගත්ත හැටි මැණිකෙගෙ අම්ම දැක්ක.ටිකක් නැවතිල බැළුව.තමං දිහා සැරෙන් සැරේ ඇස් කොනින් බලන ගමන් බොහොම සද්දාවෙං ගාතා කියන කොල්ල දැක්කාම මැණිකෙගෙ අම්මට පුංචි හිනාවක් ගියා.


බුද්දං සරණං ගච්චාමි
ධම්මං සරණං ගච්චාමි

සූරතිස්සෝ

ඕඕඕඕ
සංගං සරණං ගච්චාමි
දුතියංපි බුද්දං සරණං ගච්චාමි


උඹට මං කියන දේවල් ඇහෙනවද
ඇහෙනවෝ
දුතියංපි බුද්දං සරණං ගච්චාමි
දුතියංපි දම්මං සරණං ගච්චාමි

උඹ ආයෙ එහෙම අපේ ගෙවල් පැත්තෙ එනව නෙමෙයි

හා.........
දුතියංපි සංගං සරණං ගච්චාමි
තතියංපි බුද්දං සරණං ගච්චාමි

උඔ ආයෙ අපේ කෙල්ල එක්ක කතා කරොත් කොටනව මේ මන්නෙං

හා .............
තතියංපි දම්මං සරණං ගච්චාමි
තතියංපි සංගංසරණං ගච්චාමි

මැණිකෙගෙ අම්ම ටිකක් නැවතිල බලං හිටිය.මූ එක දිගට තුන්සූත්තරයත් කියල ඉවර කරල භාවනා කරන්ඩත් ගන්නකල්...
ඉර ගල වැටුනත් භාවනාවනං ඉවරවෙන පාටක් නෑ

මූ රහත් වෙනකං මෙතන  බාවනා කොරයි....තමන්ටම කියාගත් මැණිකෙගෙ අම්ම  ආපහු හැරුන

ඒත් මැණිකෙගෙ මල්ලිට පිං සිද්ද වෙන්ඩ කතාව ගමේ කොල්ලො අතරෙ පැතිරුනේ විදුලි වේගෙන්
අන්තිමට සූරතිස්සට “ පොඩි අදහස“ කියල නමකුත් වැටුන