Friday, November 3, 2017

ආයුබෝවන් නුගේගොඩ

අහස අඞනවා.ලොකු කඳුළු කැට එකින් එක පොලව උරා ගන්නවා.හරියට මං වෙනුවෙන් අඞනවා වගේ.මට අඞන්න අවසරයක් නැති හංද මං වෙනුවෙං අඞන එක අහස බාර අරං වගේ.නුගේගොඩ අහස මීට වඩා අඞනව ඇති.මගේ සතුටට මාත් එක්ක හිනාවුන,මගේ දුකට මාත් එක්කම වැලපුන එකම කෙනා නුගේගොඩ,මීට වඩා මහ ගොඩක් අඞනව ඇති

මගේ හිත ගිණි ගන්නව.ඒත් අහස් කඳුලින් ඒ ගින්න නිවා දාන්න බෑ.හරියට පොළව යට ලෝදිය පැහි පැහී තිබිල එක පාරටම ගිණිකන්දකට උපත ලබා දෙනව වගේ.

ඔයා ළඟ නැති වුනත් මේ දක්වා ඔයාගේ මතකය ආශිර්වාදයක් වෙලා මගේ සතුට රැක ගත්තා.ජීවිතේ අතඅරින්න හිතපු හැම වෙලාවකම කාලයක් මට ආදරේ කරපු කෙනෙක් උන්නා මං කෙනෙක්ගේ ආදරය ලැබුවා කියන මතකය දරුණු තීරණයක් ගන්න එකෙන් මාව වැලැක්කුව.මොකද ඊට පස්සෙ කවදාවත්ම කිසිම කෙනෙක් මට ආදරය කරල නැති හංද ඔයාගෙ ආදරේ එක මතකයක් පවා මං මුතු මැණික් වගේ රැක්ක.ඔයා මාව රැවැට්ටුව කියන් සාක්ෂි එකින් එක ඉදිරිපත් වෙද්දි පවා මගේ හදවත ඊට එරෙහිව තර්ක කලා....ඔයා මාව රැවැට්ටුවට...ඔයාගෙ ආදරේ අවස්ථාවාදී වංචාවක් වුනාට කවදාවත් ඒක මං ඉදිරියේ ඔප්පු වෙන්න එපා කියලයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ..මොකද ඒ මොහොත මගේ ජීවිතේ අවසාන මොහොත වෙන්න පුළුවන් නිසා...

අද ඔයා මට සදාකාලයටම නැති වුනා වගෙයි මට දැනෙන්නෙ.ඒත් එදා මහරගම ගුරුවිද්‍යාලෙ ළඟදි නිල වශයෙන් අපේ ආදරේ මිහිදන් කරද්දි මට නොදැනුන වේදනාවකින් අද මගේ හිත පිච්චෙනව.එදා බෙල්ලන්විල පංසලේදී මං ඔයාගෙ දෙපා  සිපගෙන වැඳල සමු අරගත්තෙ සදාකාලයටමයි කියල මට හිතුන්නෑ.මං හිතුවේ දෛවය වෙනස් වෙලා කවදා හරි ඔයා මාව හොයාගෙන ආයෙත් එයි කියල.මං අවරුදු හතරක්ම ඔයා එනකල් බලා උන්න.ඒත් ආයෙ කවදාවත් ඔයා ආවෙ නෑ.අඩුගානෙ ඔයා වෙන කෙනෙක්ගෙ වෙන දවසෙවත් මට ඒ ගැන කියන්න ඔයා හිතුවෙ නෑ.ඔයා එයාගෙ වෙලා කියල දැන ගත්ත දවසෙ වත් මං මෙච්චර පිච්චුන්නෑ.
මොකද ඔයාට මතක නැති කර ගන්න ඕන වුන හැම දෙයක්ම මතක තියා ගන්න ඕන වුනා.මගේ ජීවිතය මගේ සතුට රැඳිල තිබුනෙ ඒ මතක එක්ක විතරයි.

මං අදත් ඉඳල හිටල 122  පාරෙ යනව එනව.එදා අපේ ආදර ගමන පටන්ගන්න ඇත්තෙ කොයි බස් එකේදි වෙන්න ඇත්ද කියල ඒ පාරෙ යන හැම බස් එකකම අතීතයට එබෙන්න උත්සහා කරනව.
නුගේගොඩ බෝධිය තවත් දළු දානව.නුගේ ගොඩ හුඟක් වෙනස් වෙලා.ගුවන් පාලමකුත් ඇවිත්.හරියට වෙනස්වුන ඔයාගෙ ආදරේ වගේම නුගේගොඩත් වෙනස්වෙලා...අපි ඉස්සරලාම දවසෙ ගිහින් බත් කාපු සයිවර් කඩේ තාමත් තියනවද මං දන්නෑ.මං කිසිම දවසක ඒ දිහා බලන්නෑ...මොකද ඈතින් බෝධිය දකිද්දී පවා සාහසික අතකින් මගේ හදවත මිරිකනව වගේ හැඟීමකුයි මට දැනෙන්නේ.

ඇත්තමයි නුගේගොඩ කියන්නේ දුෂ්ට නගරයක්.මගේ සතුට සිනාව කඳුල වේදනාව විදවීම මේ හැම දෙයක්ම නුගේගොඩ එක්ක බැඳිල තියනවා.

නුගේගොඩ ආව හැම දවසකම මට මලගිය අපේ ආදර සැමරුම් වල භූතාත්ම හම්බුනා.මං ඒවත් එක්ක කතා කලා.ඒකත් වෙලාවකට සහනයක්.ඒත් හුඟක් විඳවීමක්.මං ආසම කරපු තැන පිල්ලෑවෙ පංසල..ඒ බෝධිය යට හැමදාමත් මං වින්දෙ නිරාමිෂ ප්‍රීතියක්.ඒත් අද මට පිල්ලෑව ගැන හිතන්නත් බයයි.මගෙ හිත කියනවා අතීත මතක තියෙයිද කියල බලන්න එකපාරක් පිල්ලෑවට ගිහින් වරෙන් කියල.ඒත් මං හුඟක් ආස කරපු පිල්ලෑවෙ , අපි හුඟක් සතුටින් අත් වැල් බැඳගෙන ගිය පිල්ලෑවෙ හුදකලාව යන එක මට උහුලන්නෑ.අපි ඔයාගෙ බත්එක කාපු කඩේ.මලවපු පොල් සම්බෝලෙයි හිඳවවපු පරිප්පු මාළුවයි සෝයා මීටුයි.මට අදත් මේ කෑම ජාති තුන එකට හදන්න බෑ.හැදුවත් කඳුළු නොබී කන්නත් බෑ...ඒ හංද හදන්නෙත් නෑ.ඔයයි මායි හැර ඒ කෑම වට්ටෝරුවට කැමති  තව කෙනෙක් මට තාම මුණ ගැහිලත් නෑ.

අපි හුඟාක් දුර වුනත් දුර වුනත් මං හැමදාම ඔයාගෙ හිත  ලඟ උන්න.ඔයා දන්නෑ...ඔයාට හිතා ගන්නත් බෑ....නුගේගොඩ ආව හැම දවසකම මට දැනුනෙ ඔයා ලඟ ඉන්නව වගේ.ඔයාගෙ කෑම වේල් හදල දිදී ඔයාගෙ දරුවො උකුලෙ තියන් ඉස්සර වගේම ඔයා එක්ක වල්පල් කියව කියව  ඔයාට තුරුල්වෙලා ඔයාගෙ ළඟින්ම ඉන්නව වගේ.

මට හැමදාම තිබුනෙ හරි පුංචි හීන.මං ආදරේ කෙනාගෙ අතින් අල්ලගෙන රටේ ලෝකෙ සේරම බූත කියෝ කියෝ  ඔහේ ඇවිද ගෙන යන්න...මං දවසකට එහෙං මෙහෙං අහුල ගන්න  කතන්දර  පණ  පිහිටවල මං ආදරේ කෙනා එක්ක කියවන්න.. එයාගෙ පපුවෙ උණුසුමට තුරුල්වෙලා නිදා ගන්න ...දරුවො මහ ගොඩක් හදල එයාලත් එක්ක සෙල්ලම් කරන්න...අගලෙන් අඟල එයාල වැඩෙනව දකින්න..

මං දෛවයෙන් ඉල්ලුවෙ හුඟක් පුංචි දේවල් .ඒ දේවල් එකක්වත් දෙන්න දෛවය කැමති උන්නෑ.ඔයාව දුන්නෙත් නෑ.ජීවිතේ එකම සතුටක්වත් දුන්නෙත් නෑ...මං සතුට කියල ඉල්ලපු කිසිම දෙයක් දුන්නෑ..දුන්න කිසිම දේක සතුටක් රැඳිල තිබුනෙත් නෑ.නුගේගොඩ  නගරය වගේම දෛවයත් මහම මහ දුෂ්ටයෙක්...
ඔයා ළඟට නාවත් ඇහැට නොදැක්කත් නුගේගොඩ  අහස යට ඔයා ඉන්නව කියන සිතිවිල්ල පවා මට සුවයක් ගෙනාව.ඔයා එයාගේ උනත් ඔයා නුගේගොඩ අහස යට ඉන්න තාක් ඔයාගෙ කොටසක් මාත් එක්ක ජීවත් වෙනව කියල මට දැනුන.නුගේගොඩ හුළඟට මං ඉව ඇල්ලුවෙ ඔයාගෙ ඇඟේ හැපීගෙන එන සුලඟක සුවදක් හරි මගේ ඇඟෙත් දැවටෙයිද කියල බලන්න...

ඒත් අද මට සදාකාලයටම ඔයා නැත්තටම නැති වුනා..ඔයා නුගේගොඩින් සමු ගත්ත..ඔයා මගේ ළඟ පරිස්සමට තියං උන්න ඔයාගේ කොටස ඒත් එක්කම ඔයා ගෙනිහිල්ල. ඔයා මට නැති වුනා කියල ඇත්තටම දැනෙන්නේ දැනුයි .ඒකයි කවදාවත් නැතුව මාව මේ තරම් පිච්චෙන්නෙ..දැන් ඔයා මුළුමනින්ම එයාගෙ වෙලා...

ඉතිං මගේ සුහදයාණෙනි ,ඔබට සුභ ගමන්..සදහටම ආයුබෝවන්........

සංසාරෙදි කවදාවත්ම ආයෙත් මුණ ගැහෙන්න එපා.ඒක සදාකාලික විඳවීමේ චක්‍රයේ දෙවන  ඇරඹුම වේවි...ඒ වගේ වේදනාවක් ආයෙත් දරන්න බැරි තරම්ම මගේ හදවත හුඟක් පුංචියි..


මේ ජීවිතේ කිසිම දවසක ආයිත් මගේ සිතේ නු ඹේ නමින් කවි නූපදිනු ඇත

Saturday, October 28, 2017

අද දවල්ට උයාපු මාළු හට්ටිය හොරා කෑ කළු බල්ලා කෙරෙහි පතල කරුණාවෙන් ලියා දක්වමි



අසරණ ආදරණිය කළු බල්ලානෙණී,

ඔබ දුර දිග සිතා බලා නොකරන ලද යම් ක්‍රියාවක් නිසා අපේ නැන්දම්මාගේ නීති පොතේ හතලිස් ලක්ෂ අසූ අට දහස් නවසිය විසි තුන් වන වගන්තියේ  (ආ) කොටසට අනුව සාපරාධී වරදකරුවෙකු බවට නම් කර ඇති බව මෙයින් කණගාටුවෙන්  දැනුම්දෙමි.

දහවල් ආහාරයෙන් පැය කීපයකට පසු නිකමට හට්ටි මුට්ටි ඇර බැලූ මාමණ්ඩියා හඞ නගා දැනුම් දුන්නේ මාළු හට්ටියේ එකම මාළු කෑල්ලක්වත් බේතකටවත් ඉතිරී වී නැති බවය.

නිවාඩු දින වල දහවල උදාවෙන්නේ හවස පහෙන් පසු බව විස්වාස කරන සුද්දා මේ වන විටත් දවල්ට නොකෑ බව සිහිව දෙකොන ගිණි වැදුනු නැන්දම්මා වහාම පවුලේ කොමිටියක් කැඳවා තමන් කෑ මාළු කෑලි ගනන හෙලිදරවු කරන ලෙස නියම කර සිටියාය.

පෙරේතකමට මාළු කෑලි දෙකක්ම කෑ මම ඉන් එකක්  දෝණීගේ ගිණුමට බැර කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් සිටියදී කට බොරු කීවත් බොරු නොකියන දිවෙන් “දෙකක්“ කියා පිටට පැන්නේය.සියල්ල ගනන් හදා බැළු නැන්දම්මා අනතුරුව හැරුනේ දෝණි දෙසටය.ඇය වහා රවා ඉවත බලා ගත්තාය. ඉන් තුෂ්නිම්බූත වූ නැන්දම්මා වරද ඇය පිට පැටවීමට ඔන්න මෙන්න කියා සිටිද්දී අහිංසක ලෙස කතා කල මා මම ඇයට මාළු කෑලි දෙකක්ම අනා බත් දුන්නත් ඇය එක කටක්වත් නොකෑ නිසා ඇය කෑ මාළු කෑලි කීයදැයි ඇසීම යුක්ති සහගත නොවන බව පෙන්වා දුනිමි.

සියල්ල ගනන් හදා බැලූ නැන්දම්මා තමන් දන්නා ගණන් සාස්තරය අනුව නම් හට්ටියේ තව කෑලි හයක් ශේෂව පැවතිය යුතු බව උදාරම් ලෙස ප්‍රකාශ කර සිටියාය.මා දන්නා ගනන් සාත්තරයත් එය එමමයි එසේ මයි යැයි පැවසූ නිසා “මිෂන් ඉතිරි වූ මාළු කෑලී සර්චිං“ මෙහෙයුම වහාම ඇරඹිනි.


වැඩි දුර කරන ලද පරීක්ෂණ වලින් හෙලදරව් වූයේ අවසාන වශයෙන් මාළු බෙදා ගත් තැනැත්තා මා බවය.නැන්දම්මා වහා නියෝග කර සිටියේ මතකය පොල්කටු හැඳි මිටෙන් කූරු ගා හෝ මා බෙදා ගත් පසු හට්ටියේ කෑලි කීයක් තිබුනාදැයි වහාම ප්‍රකාශයක් නිකුත්කරන ලෙසය.අවසානයේ මාළු කෑලි පහකුත් එක ඔළුවකුත් ශේෂව පැවති බව මගේ මතකයට ඒම වාසනාවක්  විය.

අල ඉවූ හට්ටියටවත් මෑකරල් ඉවූ හට්ටියටවත් පපඩම් බැද දමා තිබූ බෝතලයටවත් රයිස්කුකර් එක ඇතුලටවත් මාළු කෑලි අහම්බෙන් වත් රිංගා නැතැයි සැක හැර දැනගත් පසු ගෙදර ඇත්තෝ මාළු කෑලි වලට සිදුවන්නට ඇති දේ ගැන විවිධ උපකල්පන ඉදිරිපත් කලහ.

1.       දෝණී හොරෙන් කා ඇත.
2.       පූසා හොරෙන් කා ඇත
3.       ගෙදර කවරෙක් හෝ හොරෙන් කා ඇත.
4.       සරණාගත බල්ලෙක් /හෝ පූසෙක් හොරෙන් කා ඇත.

ගෙදර සියළු දෙනාටම තමා හැම විටම ප්‍රමානවත් තරම් ආහාර සපයන නිසා ගෙදර කවරෙකු හෝ හොරා කෑවා යැයි සිතීම නැන්දම්මා දැඩිව ප්‍රතික්ෂේප කලාය.පූසා කරටි කඩාගෙන අපේ ඇඳේ  නිදන් ඉන්නේ පැය ගානක සිට බව ප්‍රකාශ කල සුද්දා ඌ ගලවා ගත්තේය.දෝණි මාළු දැඩිව අප්‍රිය කරන බවත් උයා ,බැද,තම්බා හෝ මැල්ලුම් හදා දුන්නත් ඌට හොඳටම බඩගිනි වී තිබුනු වෙලාවක මිස මාළු නොකන බවත් මතක් කර දෙමින් මම දෝණී ගලවා ගතිමි.

අන්තිමට ඉතිරි වූයේ එකම සැකකරුවෙක් පමණි. එනම් සරණාගත බල්ලෙක් හෝ පූසෙකි.ගෙදරට එන සරණාගත බල්ලන් හා පූසන් ගැන අනුලෝම හා ප්‍රතිලෝම වශයෙන් හිතා බැලූ ගෙදර ඇත්තෝ මස්සිනාගේ ගෙදර පූසා සැකකාර ලැයිස්තුවෙන් ඉවත්කර දැම්මේ මේ දවස්වල අසනීපයෙන් පෙලෙන ඌ වැඩි පුර ඇවිදින්නට නොයන නිසාය.හන්දියේ සිට දෝණීගේ බත්පතෙන් ඉඳුල් ටිකක් හිඟා ගැනීමට එන එකැස් කැහුටු බැල්ලී ලැයිස්තුවෙන් කපා ඉවත් කලේ දින කීපයක සිට උන්දෑ ආගිය අතක් නැති බවට පලවූ කට කතා හේතුවෙනි.

අවාසනාවත්ත කළු බල්ලානෙණි 

අවසානයට සැකකාර ලැයිස්තුවේ ඉතිරි වූයේ ඔබම පමණි.

විත්ති කරු නැතිවම ගෘහස්ථ උසාවියේ  නඩුව විභාග කල නැන්දම්මාගේ මතය වූයේ අයාලේ යන බල්ලන්ට කන්නට තම පිඟානේ කෑම ඉතිරි කරන දෝණි ප්‍රධානම වැරදිකරු බවත් දෝණිට කා ඉවර කරන්නට බැරිතරම් ගොඩක් බත් අනා දෙන ගෙදර ඇත්තෝ දෙවන වැරදිකරුවන් බවත්ය.තව දුරටත් හේතු දැක්වූ නැන්දම්මා ප්‍රකාශ කර සිටියේ එය සම්පත් නාස්තියක් බවත් මේ ආර්ථික දුර්භික්ෂ සමයේදී මෙම ක්‍රියාව යහපාලනය විසින් අනුමත නොකරනු ඇති බවත්ය.

අනතුරුව පිහිය මිටෙන් තෙවරක් මේසයට තට්ටු කල නැන්දම්මා තීන්දුව දුන්නේ ඔබ දුටු තැන “අණ්ඩක් කඩා දැමීමේ“ දඞුවම ඔබට දිය යුතු බවය.

දයාබර කළු බල්ලාණෙනි ,මට ඔබ ගැන හුඟාක් දුකය.ඒත් උපරිමාධිකරණය පැනවූ  තීන්දුවක් සඳහා අභියාචනයක් ඉදිරිපත් කිරීමට ගෘහස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා  දී නැත.

මේ තීන්දුවෙන් පසු මාමණ්ඩියා අළුත් සාක්ෂියක් ඉදිරිපත් කරමින් කියා සිටියේ හට්ටියේ මාළු කෑලි එකක්වක් නොතිබුනත් මාළු මූඩියෙන්  හට්ටිය තිබූ පරිදිම තිබූ බවත් මාළු කෑලි නැති බව තමා දැන ගත්තේ එය විවර කර බැලීමෙන් පසුව බවත්ය

ඉන් මදක් චංචලව ගියත් නැන්දම්මා පැවසුයේ නඩු තීන්දුව දුන් පසු  සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් වැඩක් නැති බවත් නියම කල දඞුවම කිසිසේත්ම වෙනස් කල නොහැකි බවත්ය.

ඒත් මාමණ්ඩියා දැඩිව කියා සිටියේ හට්ටිය විවර කර මාළු ටික කා නැවත හට්ටිය වසා දැමීමට තරම් සූර බල්ලෙකුට දඞුවමක් නොව සම්මානයක් දිය යුතු බවය.

මමත් ඊට එකඟ වූයේ එතරම් බුද්දියක් ඇති හා කෑම කෑමට කැමති කළු බල්ලා  අරන් හදා ගැනීම පිණිස අපේ ගෙදරට ගෙන්නාගෙන බලෙන් කෑම කැවිය යුතු හා  මරි මෝඩ අපේ දෝණියා ඒ ගෙදරට දිය යුතු බව ප්‍රකාශ කරමිනි.

එය ඇසූ දෝණියා හෙමින් අපේ නිදන කාමරය දෙස පසු බසිනු දුටු මම වහ වහා ඒ දෙසට ගියේ  මගේ අනුවණ දුෂ්ට ප්‍රකාශයෙන් හිත පෑරී ගිය ඇය කොට්ටයකට හිස ඔබා  හඞා වැටෙනවා නම් හිස අතගා  සනසා සමාව ඉල්ලීම සඳහාය.

නමුත් දොර රෙද්ද යාන්තම් එහා මෙහා කර බැලූ මම දුටුවේ දෝණී හොම්බෙන් ඇණ තුන් නින්දේ උන් පූසා ඇහැරවන බවය.පූසා නැගිට්ටේ නින්ද කැඩූ එකාට සාප කරමිනි.

අනතුරුව ඈණුමක් ඇර ඇඟමැලි කැඩූ පූසාත් දෝණීත් අතර සංවාදය පහත පරිදි විය.

පූසා - මොන මගුලක්ද ඕයි.මාව ඇහැරෙව්වෝ..

දෝණී -  අනේ පූසෝ.. හොඳ පූසෝ..මට ලොකූකූකූකූකූ උදවුවක් කරන්න පුළුවන්ද

පූසා- කියනව කියනව මලවදේ..ඉක්මනට කියනව..මට ආයෙත් නිදා ගන්න තියනව..රෑට ටෝක් කරන්න ඕන පූසියො හතර පස් දෙනෙක්ම ඉන්නව....ඒ මදිවට හොරිකඩ පූසෝ තුන්දෙනෙක් මගෙං ගේම ඉල්ලලත් තියනව.

දෝණී -  ඔයා කළු බල්ලව අඳුනනවද?

පූසා - ආ අර පුවක්කොටුවෙ ගෙදර බල්ලනෙ..මට සමහර දවස් වලට හම්බෙලා තියනව.

දෝණි -  එයාගෙන් බඩ්ඩක් අහන්න පුළුවන්ද?

පූසා-(තඩි ඈනුමක් යවමින්)ඉතිං කියනව

දෝණි - එයාටයි මටයි අපි දෙන්නගෙ තැං මාරු කරගන්න පුළුවන්ද කියල අහනවකො

පූසා - (දැන් සම්පූර්ණයෙන්ම නින්දෙන් අවදිව)ඒ මොකද ඕයි..

දෝණි -  බලනවකො මෙහෙ ඉන්නකොට මට කාල ඉවරයක් නෑ..මස්ද මාළුද පීකුදුද උම්බලකඩද  කරවලද  කෙලවරක් නෑ ගෙනත් මගෙ නාහෙ යටිං ඔබනව.පුළුවං ටික කාල බැරි මරගාතෙ ඉතුරු කරොත් මං කාල නෑ කියල හිටං කිරි එකකුත් ගෙනත් දානව.ඒක බීවෙ නැත්තං බේත් විදින සිරිංජරේක දාල උගුරටම විදිනව..මට තවත් මේ කරුම විඳින්න බෑ ඕයි...

පූසා - ඉතිං ඕයි ආදරේටනේ ඔය කන්ඩ බොන්ඩ දෙන්නෙ

දෝණි - මරු ආදරේ ..යකෝ ආදරේට නං ඔච්චර කවල මරන්න හදනවද?මං බයේ ඉන්නෙ කොයි වෙලේ හරි කාල මාව පුපුරයි කියල

පූසා - එහෙනං නොකා ඉන්නවකො

දෝණි - නොකා හිටියොත් අර ජරා රහ අසමෝදගම් පොවනව බලෙන්ම..නැත්තං මගුල් බේත් විදිනව.ඒකට බලනව කළු බල්ල.ඌට ඕනතරං නොකා ඉන්න පුළුවං..ඒ හංද බඩගිනි වුනාම අනුංගෙ ගෙවල් වලට පැනල හොරෙං කෑමේ ආතල් එක ගන්නත් පුළුවං

පූසා-අනේ මට නං කුප්පමේනිය ගහක් උදුරලා දෙන එකට වඩා කරදර කරන්නෑ එයාල..ඇරත් මං කුප්පමේනිය වලට ආසයි.

සංවාදය ඉතා දුරදිග ගිය අතර රැලේ යන කාලයේ අපේ ගෙදරට ගොඩ වැදුන කළු බල්ලාට සුද්දාත් මාත් ගල් වලින් සංග්‍රහ කලේ තමාගේ අනුදැනුමකින් තොරව බව පවසන මෙන් පූසාගෙන් උදක්ම ඉල්ලා සිටියාය.එසේම මේ ගෙවල් මාරුවට කැමති නං එක රැයකට තමා ඔහුගේ බිරිඳ වීමට වුව කැමති බවත් නමුත් එය ලෝකයෙන්ම රහසක් ලෙස තබා ගත යුතු බවත් කීවාය.තමා යෝජිත විවාහයකින් ටෙඩීට බන්දා දී ඇති බවත් තමා ගර්භණි බවට තමාට සැකයක් ඇති බවත් අනාචාරයේ හැසිරුනු බව ආරංචි වුනොත් ටෙඩී තම දරුවන්ට පිතෘත්වය ලබා දීම ප්‍රතික්ෂේපකිරීමේ අවදානමක් ඇති බැවින් තම දරුවන් අවජාතක කිරීමේ ශාපය නූසුලා මේ සියල්ල රහසක් ලෙසින් රැක ගන්නා ලෙසත් හැඞූ කඳුලින් යුතුව පූසාට පැවසුවාය.

නමුත් කළු බල්ලාණෙනි,මේ අයථා සම්බන්ධයට එරෙහිව ටෙඩීගේ ගෙදරිනුත් අපේ ගෙදරිනුත් දැඩිව සුපරික්ෂාකාරීව පසුවන නිසා ඔබේ ජීවිතයෙන් වන්ි ගෙවීමට වෙන මෙබඳු වරදක් කර නොගන්නා ලෙස මම දැඩිව අවවාද කර සිටිමි


එසේම මේ වන විට මාළු හට්ටිය වසා තිබියදී බල්ලා මාළු කෑ හැටි ගැන විකල්ප ආකාර 03 නැන්දම්මා විසින් ඉදිරිපත් කරන ලදී.බල්ලා විසින් එය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්නට ඇති ආකාරය ගැන පරිකල්පනය කිරීමට ගොස් මගේ මොලේ පිටපොට ගිය බැවින් මේ ලියවිල්ලේ බොහෝ ව්‍යාකරන දෝස තිබීමට ඉඩ ඇතිය.

එසේම මගේ පූර්ව ජන්මයක කුසලානිසංශයෙන් මේ මාළු ටික ගෙනවිත් ඇත්තේ සුද්දා වීම හේතුවෙන් මාළු මිල පිළිබඳ කාලගුණ වාර්තාවක් හෝ බල්ලන්ට මාට්ටු නොවන ලෙස මාළු හට්ටි වසා දමන්නේ කෙසේද යන මාතෘකාවෙන්  නැන්දම්මාගේ හරබර දේශනයක් ඇසීමේ අවාසනාව මට උදා නොවීය.
මාමණ්ඩියා තවමත් ඔබට සම්මාන දීමට කැමැත්තෙන් හිඳී.ඒත් නැන්දම්මාගේ දඞුවම වඩාත් බලාත්මකව පවතී.එබැවින් නැන්දම්මා ගෙදර අහල පස් ගවුවක හෝ ඉන්න වෙලාවක අපේ ගෙවල් දෙස බලා බත් කටක් හෝ නොකන මෙන්  දැඩි ඕනෑකමින් ඉල්ලා සිටිමි.

මාමණ්ඩියා ඉන්න වෙලාවක අනතුරක් සිදුවේයැයි මට  සැක කල නොහැකි වුවත් සම්මානයක් දීමේ මුවාවෙන් ඔබ කැඳවීමට මාමණ්ඩියාට පොළඹවා  ඒ අවස්ථාවේ ඔබ “ත්‍රිවිලරයක්“ බවට පත් කිරීමේ හැකියාව නැන්දම්මාට ඇති බැවින් ජීවිතාරක්ෂාව සඳහා වඩාත් සිහි බුද්දියෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.

එසේම තවත් එකම එක අහිංසක ඉල්ලීමක් ඇත.නැවත මෙසේ හොරකමක් කරන විට සුද්දාට කන්නට මාළු කෑලි දෙකකුත් මට රෝස් පාං කෑල්ලක් කෑමට හොදි පොඩ්ඩකුත් ඉතිරි කරන්න